‘දඹුල්ල තන්ඩර්ස්‘ හිමිකරුට අධිචෝදනා ගොනුකරයි


(රෝෂන් තුෂාර)

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බලපෑම් කලේ යැයි කියන  දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි   බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය අද පැවසීය.

සැකකාර තමීම් රවුමන්  අධිකරණයේ පෙනී සිටි සිටීමෙන් අනතුරුව  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කරුණු දක්වමින් කියා සිටියේ  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 සහ 8 වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අදාළ වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවය.

ඒ අනුව සැකකරුට එරෙහිව නොබෝ දිනකින්  මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් නඩුව වෙනත් දිනක කැඳවීමට දින නියම කරන ලෙසද ඉල්ලා සිටියේය. 

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල දෙසැම්බර් 5 දින කැඳවීමට දින නියම කළේය .