පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තමන් ගැලවුණේ තම පියාගේ අවවාදය පිළිපැදීම නිසා බවත් රෝහලක නේවාසිකව සිටි තම රෝගී පියා දන්නා දේ රටේ රජය හෝ රට කරවන බලධාරීන් නොදන්නා බවත් ඩිජිටල් හා යටිතල පහසුකම්, ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබුණද එම තොරතුරු නිසි පරිදි භාවිතයට නොගත් හෙයින් මෙම විනාශය සිදුවූ බවත් මෙම විනාශය පහසුවෙන්ම වළක්වාගත හැකිව තිබූ එකක් බවත් ඇමතිවරයා කීවේය.
“මගේ පියා සති තුනක් තිස්සේ ඉන්නේ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්. එයා ඊයේ (20) වැනිදා මට කතා කරලා කිව්වා කොච්චිකඬේ පල්ලියට යන්න එපා. මෙහෙම දෙයක් ගැන ආරංචියක් තියෙනවා කියලා. රෝගාතුරව, ඉතාමත් අමාරු තත්ත්වයකින් ඇඳේ සිටිද්දීත් එයා මේ වගේ දෙයක් ගැන දැනගත්ත එක මටත් ප්‍රශ්නයක්.
”කොහොම වුණත් තාත්තා යන්න එපා කිව්ව නිසා මම බේරුණා”
”මේ ගැන දැනුවත් වෙලා තියෙද්දිත් කොහොමද මේක උණේ කියන එක ගැටළුවක්. මේ සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න වෙයි. වගකීම ගන්න ඕනෑ පුද්ගලයන්ට වගකීම ගන්න වෙයි. වගකීම පැහැර හැරිය පුද්ගලයන් ගැන දැඩිව ක්‍රියා කරන්න වෙනවා” යයිද හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවැති පුවත්ත සාකච්ඡාවකදී පැවසීය.
ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැසක්, කොළඹ විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 1 වැනිදා වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් රැසකටම දැනුම් දෙනු ලැබ තිබිණ. එම ලිපිය අධ්‍යක්ෂක/ඇමති ආරක්ෂයක කොට්ඨාසය, අධ්‍යක්ෂක/අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂක/විශ්‍රාමික ජනාධිපති ආරක්ෂ්ක කොට්ඨාසය, වැ.බ.අධ්‍යක්ෂ, තානාපති ආරක් කොට්ඨාසය සහ වැ.බ. අධ්‍යක්ෂ /විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත යොමු කර තිබිණ.
මෙම තොරතුරු සම්බන්ධයෙන් බී.බී.සී. (බ්‍රිතාන්‍ය) රූපවාහිනී සේවයේ නියෝජිතයකු අසන ලද ප්‍රශ්න කිහිපයකට හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
”මේ වැඬේ හරියට කෙරුණේ නෑ..... මේ ගැන අගමැතිවරයාට දැනුම් දීලා නෑ. මෙතැන මොකක් හරි සන්නිවේදන සංකූලතාවක් තිබුණා”
”මේ ගැන කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කළා. මේ වගේ වැදගත් වාර්තාවක් නොසලකා හැරීම සම්බන්ධයෙන් කතාබහ වුණා. මෙතැන ඩොලර් මිලියනයක් වටිනා වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ මේ ගැන දැනුම් දීලා තියෙන්නේ 11 වැනිදා. ඒත් රජයේ කිසිම නිලධාරියෙක් ඒ ගැන පියවරක් අරන් නෑ”
”අනෙක ආරක්ෂුක මණ්ඩලයක් කියලා එකකුත් තියෙනවා.... ඒත් අවාසනාවකට වගේ ආණ්ඩුවේ කිසිම සාමාජිකයෙක් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් නෙමේ....ජනාධිපතිවරයා හැරෙන්නට. ජනාධිපතිවරයා දැනට රටේ නෑ. ඔහු එන්නේ අද මධ්‍යම රාත්‍රියේ. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනයේදී ඔහුව මුණ ගැසෙන්න. මේ වගේ සන්නිවේදන සංකූලතාවක් ඇතිවුණේ කොහොමද කියලා අහන්න”
බී.බී.සී. නියෝජිතයා :
මේ අනතුරු ඇගවීමේ අවවාදයට සම්බන්ධ තොරතුරු වලින් වාර්තා වුණේ මොනවාද ?...ඒ ගැන ඔබ දන්නා තොරතුරු අපට කියන්න....ඒවා ඉරිදා දිනය ගැනද?, මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගැනද ?
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා :
”එහි ඉතාම පැහැදිළිව ආකාර 4 ක ප්‍රහාර ගැන කියැවෙනවා. ඒක මරාගෙන මැරෙන ප්‍රහාරයක් වෙන්න පුළුවන්, නැතිනම් ආයුධයකින් කරනු ලබන ප්‍රහාරයක් හෝ පිහි ඇනුමක් ඒත් නැත්නම් රථයක පිපිරීමක් විය හැකියි කියලා එහි කියැවෙනවා.... මේවා පැහැදිළිවම කියලා තියෙනවා විතරක් නෙමේ නම් කිහිපයකුත් සඳහන් වෙලා තියෙනවා.
”මේ වාර්තාවේ තියෙන දුරකතන අංක සහ අනෙකුත් තොරතුරු අනුව මටත් අදහාගන්න බැරිව ඉන්නේ අපි කිසි කෙනෙක් මේ ගැන දැනගත්තේ නැත්තේ ඇයි කියලා. බුද්ධි අංශයට තොරතුරු ලැබිලා. එත් රජය හෝ කැබිනට් ඇමතිවරු, අගමැතිවරයා මේ ගැන දැන නොගත්තේ කොහොමද ?
ඔබ කියන්නේ මේ තොරතුරු ජනාධිපති කාර්යාලයේ කිසියම් තැනෙක හිරවෙලා තිබුණා කියලද ? ඒනිසා අනෙකුත් පාර්ශ්වයන්ට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ තොරතුරු ලැබුණේ නෑ කියලද?
”ස්ථිර වශයෙන්ම එතැන කිසියම් හිදැසක් තිබුණා... මේ නොලැබුණු වාර්තාව ලේඛණ ගතවෙලයි තියෙන්නේ. දැන් එය අපි අතට පත්වෙලා තියෙනවා. එහෙනම් කොහොමද අදාළ අංශවලට මේ තොරතුරු නොලැබුණේ ? ඒ ගැන ක්ණක අවධානයක් යොමු වුණේ නැත්තේ ඇයි?
”හරි විදිහට නම් හදිසි රැස්වීමක් කැඳවලා වහාම ඒ ගැන පියවරක් ගත යුතුව තිබුණා.” යයිද හරීන් ප්‍රනාන්දු මහතා බී.බී.සී. සේවයට පැවසීය.




