‘ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ සිද්ධිය ගැන දැඩි ලෙස කණගාටු වෙනවා’


(චමිල් රූපසිංහ)
 
තම ආරක්ෂක භටයන් සහ තරුණයන් දෙදෙනෙකු අතර ඊයේ(06) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බවත්, මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (7) පැවසීය.
 
එස්. බී. දිසානායක මහතා මෙසේ පැවසූයේ තම ආරක්ෂක අංශ භටයන් සමඟ බීමත් පිරිසක් ගමන් ගත් මාර්ගයකදී, ඇතිවූ සිද්ධිය සම්බන්ධව කිවුල්ළිඳ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
 
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මෙසේ ද කීය.
 
“ඊයේ සහ පෙරේදා මස්කෙළිය ආසනයේ රැස්වීම් 30ක් විතර තිබුණා. අවසන් රැස්වීම තිබුණේ ලක්ෂපාන පෙදෙසේ. එහි යාමට තිබුණු පොල්පිටියේ මාර්ගය ඉතාම දුෂ්කර අබලන් වෙච්ච පටු මාර්ගයක්. අපි ගිය වාහන 6 ක් 7 ක් ඒ පාරෙ එනකොට තමා මේ සිද්ධිය ඇතිවෙලා තියෙන්නෙ.
 
මගේ ආරක්ෂක අංශයේ නිලධාරින් ගමන් කළේ කුලියට ගත්තු වෑන් රථයක.  මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ බීමත් පිරිසක් ආ වාහනයක් හා ආරක්ෂක අංශයේ නිලධාරියෙක් අතරයි. ඒ දුෂ්කර මාර්ගයේ වාහන දෙක මාරුවෙද්දි බීමත්ව ආ පිරිස ආරක්ෂක භටයන් ගමන් ගත් වෑන් රථයට පහර දීලා. ආරක්ෂක භටයෙකුගේ ගිනි අවිය උදුරගන්න තැත් කරපු වෙලාවෙ ඔහු පොළොවට වෙඩි තියලා.
 
මම ඊළඟ රැස්වීමට ගිහිල්ල ඉන්න අවස්ථාවේයි ඔවුන් මේ සිද්ධිය සම්බන්ධව මාව දැනුවත් කළේ. මගේ ආරක්ෂක භටයන් විස්වාස කරල නැහැ බිමට තිබ්බ වෙඩිදෙකෙන් කිසි කෙනෙකුට තුවාලයක් වෙලා කියලා. පසුව ආරංචි වුණා එක ළමයකුට තුවාල වෙලා ඔහු රෝහල් ගත වෙලා කියලා.
 
මම ඒ අවස්ථාවේදිම ඒ ආරක්ෂක භටයින් තලාතුඔය පොලිසියට යොමු කළා. ඊයේ රාත්‍රියේම ඒ පෙදෙසේ පොලිසියවත් යොමු කළා. සිද්ධිය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා. ඉතාමත් අපක්ෂපාතීව පොලිසිය පරීක්ෂණ පවත්වයි කියලා බලාපොරාත්තු වෙනවා.


මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා මේ වෙද්දි පොලිසිය බාරයේ. ඉතාම සුළු සීරීමක් තියෙනවා කියලායි දැනගන්න ලැබුණේ. මෙය ඉතා කනගාටුදායක සිද්ධියක්. පොලිස් නිලධාරීන් පොළවට හෝ වෙඩි නොතිබ්බා නම් හොඳයි.
 
මැතිවරණ ව්‍යාපාරයේ ගෞරවය ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා බැඳී සිටිනවා. මේ සිද්ධිය මගේ පොලිස් නිලධාරීන් අතින් සිදුවීම සම්බන්ධව ඉතාම කණගාටුවනවා” යැයිද එස්. බී. දිසානායක මහතා පැවැසීය.