(ශාන්ත ප්‍රදීප් කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය අරලිය උයන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස් බුක් සාදයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනා අතරින් සිව් දෙනෙකු හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර 73 දෙනෙකුට ඇප ලබා දීමට ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් රමණී කුලරත්න මහත්මිය අද (09) නියෝග කළාය.
සාදය සංවිධානය කළ පුද්ගලයා , ගංජා ලඟ තබාගත් දෙදෙනෙකු සහ මත්පෙත් ලඟ තබා ගත් අයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
මුහුණු පොත හරහා මිතුරු වී සංවිධානය වූ කණ්ඩායමක් මෙම සාදය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ඇතුල්වීමේ ගාස්තු ලෙස රුපියල් 800 ද යුවලක් සඳහා රුපියල් 1000 අය කර තිබුණි.
එම සාදයට සහභාගි වූ 150 කට අධික පිරිස ශබ්ද විකාශන යන්ත්‍රද භාවිතා කරමින් අසල්වාසීන්ටද බාධා වන අයුරින් මෙම සාදය පවත්වා ඇතැයි පොලිසිය කීය.
ඒ අනුව පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී සැකකරුවන් පිරිසක් පලාගොස් ඇති අතර සැකකරුවන් 77 අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 17 දෙනෙකු සිටි බවද පොලිසිය කීය.
අද (09) සැකකරුවන් ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට කුපිත වූ පිරිසක් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් කළහාකාරී ලෙස හැසිරුණු බවත් ඔවුන් පාලනය කිරීමට පොලිස් නිලධාරීන් 50 කට අධික පිරිසක් කැඳවීමටද පියවර ගත් බවත් පොලිසිය කීය.



