ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් නවතී


(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ඉකුත් 10 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි එම ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ගුවන් ගමන් සඳහා ටිකට් පත් මිලදී ගත් ගුවන් මගීන්ට එම මුදල ආපසු ලබා දෙන බවත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය විද්‍යුත් ලිපියක් මගින් දන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවය භාවිතා කරන ගුවන් මගීන් අතර ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ ගමනාන්තයක් වී ඇතැයි ප්‍රකාශ කර මාස 3 ක් යන්නට මත්තෙන් නොවැළැක්විය හේතුවක් මත ගුවන් ගමන් නතර කිරීමට සිදුවීම පිළිබඳ කණගාටු වනබව එම ගුවන් සේවය පැවසුවේය.

එතිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර නැතත් එළඹෙන 14 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණ අබුඩාබි වෙත නැවත පියාසර කරන ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාවේ කෝචි ගුවන් තොටුපොළට ගොඩබාන බව එම ගුවන් සේවය නිවේදනය කළේය.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව එතිහාඩ් ගුවන් සේවය ප්‍රකාශ කළේය.