හෝර්ටන්තැන්නේ සතුන් හොරෙන් ගෙනයන්න හැදූ රුසියානුවන්ගේ නඩුව යළි විමර්ශනයට නියෝග



(ශාන්ත චන්ද්‍රසිරි)
 
රුසියානු ජාතිකයන් තිදෙනෙකු විසින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින්  අල්ලා ගන්නා ලද සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන්  550 කු  හා ශාක කොටස් රැසක් හොර රහසේ පිටරටට රැගෙන යාමට තැත් කිරීමට අදාළ නඩුව පිළිබඳව යළි විමර්ශනයක් සිදුකිරීමට  නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (27) නියෝග කළේය.
 
නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන පස් සාම්පලය හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයෙන් ලබා ගන්නා ලද එකක්ද යන්න පිළිබඳව පරීක්ෂා කර තහවුරු කිරීමක් ලබාගැනීම  සඳහා එම පස් සාම්පලය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති පරිගණක උපාංගය, (පෙන්ඩ්‍රයිව්) හා ජංගම දුරකතන කොළඹ පරිගණක අධ්‍යයන අංශය වෙත යොමු කර එහි ගබඩා වී ඇති තොරතුරු පිළිබඳව වාර්තාවක් ලබාගැනීමටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
 
වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරී ඒ. පී. කේ. ටී. ජයවර්ධන මහතා මේ   පිළිබඳව අධිකරණයට කරුණු දැක්වූ අතර යළි මෙම නඩුව  ඔක්තෝම්බර් මස 08 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය, සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද, දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන්  ඇතුළු සත්ත්ව විශේෂ 23 ට අයත්  සතුන්  550 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් මෙම විදේශිකයන් තිදෙනා විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන්පොළක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික  වනෝද්‍යානයේ  නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශන, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම කර ඒ. ඇලෙක්සැණ්ඩර්, ආර්. ආර්ටේම් සහ කේ. නිකොලායි යන රුසියානු ජාතික  සැකකරුවන්  තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.