හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුට ලක්ෂ 28 ක් දඩ


(ජයන්ත සමරකෝන්)

ත්‍රිකුණාමලය, නිලාවැලි පාරේ පිහිටි හෝටලයක් සඳහා වසර 20කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබාගැනීමේ සිද්ධියක් මත එහි හිමිකරුට රුපියල් 28,17,000ක දඩයක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මෙහිදී හෝටල් හිමිකරු වරද පිළිගෙන දඩ මුදල එවේලේම ගෙවූ බවද, එහි රත්මලාන වැටලීම් අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට අද(27) පැවසීය.

මෙසේ දඩ නියම වූයේ, අංක 93, නිලාවෙලි පාර, ත්‍රිකුණාමලය ලිපිනයේ පදිංචි කේ. පුලේන්ද්‍ර රාජා නැමැත්තෙකුටය.

නීත්‍යනුකූල ජල සැපයුමකට පිටින් නීතිවිරෝධීව ජලය ලබාගෙන ඇති බව මේ පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

රත්මලාන ජල වැටලීම් අංශයට ලැබුණු තොරතුරක් මෙම වැටලීම කළ බවද එම ප්‍රකාශකයා කීය.