
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධී අයුරින් ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවිකර පරිහරණය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සමග පුද්ගලයකු පිලියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
එම ජීප් රථයට කොළඹ ප්‍රසිද්ධ පුද්ගලික වැවිලි සමාගමකට අයත් ජීප් රථයක ලියාපදිංචිය අංකයක් සවි කරගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම රථය සමග එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ජීප් රථයට අදාළව සැකසූ කූට ලේඛන කිහිපයක් ද භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන, මීට පෙර වාහන වංචාවකට පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15ක පොරොන්දුව මත ලක්ෂ 10 ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන ලියාපදිංචි අංකයට අදාළව සියලුම ලේඛන සකස් කර දෙන පොරොන්දුවක් මත කටයුතු කර ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකල පොලිස් නිළධාරියෙකු පැවසීය.

