හොඳම අධ්‍යාපන ක්‍රමයක් දරුවන්ට දෙනවා


(අංජුල මහික වීරරත්න)

අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රටේ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (14) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණ. 

මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක්  වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී තිබිණි.

ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළේය.