හෙරොයින් ගිල ලංකාවට පැමිණ සැඟව සිටි පාකිස්තානු ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට



(ටී.කේ.ජී.කපිල )
 
රුපියල් එක් කෝටි හය ලක්ෂයක් (1,06,00,000) ක් වටිනා හෙරොයින් තොගයක් ගුලි වශයෙන් සකස් කර ,ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණ , කොළඹ සැඟවී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
 
 අත්අඩංගුවට ගත් මොවුන් 36 සහ 28 හැවිරිදි වියේ පසුවන්නන් බව  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.


ඔවුන් ඉකුත් ඉකුත් 25 දින පාකිස්තානයේ කරච්චි නුවර සිට ගුවන් මගින් මෙරටට පැමිණ ඇති අතර , කටුනායක ගුවන් තොටුපොළේ දී ඔවුන් එහි සේවය කරන රේගු නිලධාරීන්ට  , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට හසු නොවී කොළඹට පැන විත් තිබූ අතර , පසුව ඔවුන් කොළඹ කොල්ලුපිටිය , මුහුදුබඩ මාර්ගයේ නවාතැන් පොළක සැඟවී සිටියදී ලැබුණු තොරතුරු මත කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
 
ඔවුන් ගිල දමා සිටි හෙරොයින් ගුලි 89 ක් ඒ වනවිට ඔවුන් විසින්ම පිටතට ගෙන තිබූ අතර , ඒවා තුළ  හෙරොයින්ග්‍රෑම්  891 ක් තිබූ බැව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .
 
මොවුන් අද (28)  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක්  රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ස ඳහන් කළේය.