හෙද නිලධාරින් 60න් ගෙදර යැවීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි


(රන්ජන් කටුගම්පොළ)

රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.

රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කළ තීන්දුවක් මඟින් රජයේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තහවුරු කළේය.

නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, සහ දිලිප් නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන පෙත්සම සලකා බැලිණී.

නීතිපතිවරයා ගොනු කළ මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා ඇතුළු පිරිසක් නම් කර ඇත.