හෙට කළුවර නැති වේවි


(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකව කෙරීගෙන යන බවත්, ඒ නිසා හෙට එතරම් කළුවර නැතිවනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් විසින් ලබාදී ඇති මූල්‍ය කළමනාකරණය යහපත් කරගැනීම සඳහා වන කොන්දේසි සියල්ලම පාහේ මේ වන විට රජය ඉටුකර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය, ජපානය හා පැරිස් ආධාර කණ්ඩායම ආදී පාර්ශවවලින් ශ්‍රී ලංකාව පිළිබඳ හිතවාදී ප්‍රතිචාර ලැබී ඇති බවත්, අගාධයට වැටීම වළක්වාගැනීමට ඔවුන් මැදිහත්වනු ඇති බවත් කී ඇමතිවරයා ඒ වෙනුවෙන් රටක් ලෙස කළ හැකි කැපවීම් අවශ්‍ය පමණටත් වඩා කර තිබෙන බව ද කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රටේ සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් නිසා ජී.එස්.පී ප්ලස් සහනය නොලැබී යාමේ අවධානමක් තිබෙනවාදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි දර්ශකයන්ට අනුව මිස ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම්වලට පයින් ගසා ආණ්ඩු නොකරන බවයි.