හිරේ ගිහින් වැඩ පෙන්නූ අයගේ පොළ අදත්


(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර රැඳවුවන්ගේ කුසලතා නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ ප්‍රදර්ශනයේ අවසන් දින   විවෘත කිරීම බන්ධනාගාර වෘත්තිය උපදේශකවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද(17) සිදු කෙරිණි.

බන්ධනාගාර ගත වන රැඳවියන් සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත් කර වෘත්තිය පුහුණුව ලබාදී  ඔවුන්ට නිර්මාණාත්මක කුසලතා පුහුණුව දීම වෙනුවෙන් වෘත්තිය උපදේශකවරුන්ගේ සේවය අගය කිරීම සඳහා ඔවුන් අතින් ප්‍රදර්ශනය විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.

සියලු බන්ධනාගාර වෘත්තීය උපදේකවරුන් නියෝජනය කරමින් වැලිකඩ සහ මහර බන්ධනාගාර වෘත්තීය උපදේකවරුන් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටි අතර, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) සේනක පල්ලෙතැන්න, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර ඒ.සී. ගජනායක, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන් විසින් බන්ධනාගාර වෘත්තීය උපදේකවරුන්ව පිළිගැනීම සිදු කළේය.

බන්ධනාගාරගතව සිට වෘත්තීය පුහුණුව ලබා සාමාජගතවු පසු සාර්ථකවී සිටින ව්‍යවසායකයින් විසින් ඊයේ ( 16) දින ප්‍රදර්ශනය විවෘත කිරීම සිදු කරන ලදී.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාවේදී  ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය,සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ  පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි.