හිම කන්දක් නාය යාමෙන් 100 ත් - 150 ත් අතර පිරිසක් මරුට


ඉන්දියාවේ උත්තරකන්ද් ප්‍රාන්තයේ හිම කන්දක් කඩාවැටී ධූලිගංගා නම් ගඟේ ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් පුද්ගයන් 100 ත් 150 ත් අතර පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම හිමකන්ද කඩා වැටීමත් සමගම එය ගංගාවේ පහළින් තිබූ වේල්ලක් මත ඇතිකළ තෙරපුම හේතුවෙන් වේල්ල කැඩී බිඳී ගොස් තිබේ. 

“ගණන තාම හරියට කියන්න බෑ.. ඒත් මියගිය පිරිස 100 ත් 150 ත් අතර විය හැකියි“ යයි උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් ඕම් ප්‍රකාශ් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. 

“ඒක මඩ - ගල් - වතුර එක්ක මහා ප්‍රවාහයක් වගේ කඩාගෙන මිටියාවත දිගේ පහළට ගලා ආවා... කිසි කෙනෙකුට අනතුරු ඇඟවීමක් කරන්න කාලයක් ලැබුණේ නෑ...“
“මම හිතුවේ මාවත් ගහගෙන යයි කියලා... ඒක ඒ තරම්ම වේගවත්“ යයි රයිනි මිටියාවතේ ජීවත්වන සන්ජේ සිං මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය. 

චමෝලි දිස්ත්‍රික්කයේ තපෝවන් ආසන්නයේ රයිනි ගම්මානයේ පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇත. සිද්ධිය වන අවස්ථාවේ ගම්මානයේ පිහිටි විදුලි බලාගාරයක කම්කරුවන් 50ක් පමණ සේවය කරමින් සිට ඇතැයි බලධාරීහු පවසති. පොලිසිය පවසන්නේ විදුලි බලාගාරයට ද හානි සිදුවී ඇති බවයි. ්‍

ගං ඉවුරු අසළ වෙසෙන ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ද උපදෙස් දී තිබේ. හරිද්වාර් සහ රිෂිකේෂ් නගරවලට ද මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. විදුලිබල ව්‍යාපෘතියේ වේලි කිහිපයක්ද ද කැඩීගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද ප්‍රාදේශීය වාර්තා සඳහන් කරන්නේ විදුලිබල ව්‍යාපෘතියේ 150ක පමණ සේවක පිරිසක් අනතුරට පත්වී ඇති බවයි.උත්තරකන්ද් මහ ඇමති තිවේන්ද්‍ර සිං මහතා පවසන්නේ පොලිසිය සහ ආපදා සහන සේවා නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට යවා ඇති බවය. රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද හෙතෙම පවසයි.

(085)