හිටපු යුද හමුදාපති විදේශ ගතවීමෙන් පරීක්ෂණ අතරමග


(ඉන්දිකා රාමනායක)

පාස්කු ප‍්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත‍්‍රස්තවාදී සැකකරුවකු  සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය  රිෂාඞ්  බදියුදීන්  මහතා අවස්ථා දෙකකදී  හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය  සම්බන්ධයෙන්   බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති පරීක්ෂණයට විශ‍්‍රාමික හමුදාපති  ජනරාල් මහේෂ් සේනානායක මහතා  විදේශගත වී සිටීම හේතුවෙන් බාධා එල්ලවී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතාගෙන් ප‍්‍රකාශය ලබා ගැනීමට  ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ජනාධිපතිවරණයෙන් පසුව ඒ මහතා  සිය  පවුල සමඟ විදේශ ගත වී ඇති බවට හෙළි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මහේෂ් සේනානායක මහතා  යළිත්  මෙරටට පැමිණෙන දින වකවානු  නොදන්නා  හෙයින්   පරීක්ෂණ  අතර මග නැවතී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.

පාස්කු ප‍්‍රහාරයෙන්  පසුදින  දෙහිවලදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයා  හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇති ද යන්න සොයා බැලීම සදහා   මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින   ත‍්‍රස්තවාදී සැකකරුවකු  සම්බන්ධයෙන්  දුරකතන ඇමැතුම් ලබා දෙමින්   රිෂාඩ්  බදියුදීන් මහතා  රජයේ  නිලධාරියකුට බලපෑම් කළේද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසට  ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු  නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා  විසින්   එවකට පොලිස් මූලස්ථානයට කළ  පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පති   සී.ඩී වික‍්‍රමරත්න මහතා විසින්  මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට  බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ  නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත,   හිටපු අමාත්‍ය  රිෂාඩ් බදියුදීන්, හිටපු හමුදාපති  ජනරාල්   මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන්  ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය  අධිකරණයට කරුණු වාර්තා කර  සිද්ධිය සම්බන්ධයෙන්   මහේෂ් සේනානායක මහතා මාධ්‍ය හමුවකදී කළ  ප‍්‍රකාශ   ඇතුළත්    විද්‍යුත් නාලිකා කිහිපයක  ප‍්‍රචාරය වූ  වීඩියෝ පට පොලිසිය බාරයට ගත් බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.