( තිළිණි ද සිල්වා )
අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25 ක් යටතේ ගොනු කර ඇති අධි චෝදනා නඩු විභාගය බදාදා (29) තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (27) නියෝගයක් නිකුත් කළේය.
මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග වන එම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ චේතිය ගුණසේකර මහතා අධිකරණය හමුවේ සදහන් කර සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පී.කුමාර රත්නම් මහතා මෙම පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.
එහෙත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට ඊයේ පෙත්සම කැඳවූ අවස්ථාව අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ලෙස රජයේ නීතීඥ චේතිය ගුණසේකර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සහ පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය සලකා බැලීම බදාදා (29) කල් තැබිණි.
ඒ අනුව බදාදා (29) තෙක් කොළඹ මහාධිකරණයේ තිළිණ ගමගේ මහතාට එරෙහි අධි චෝදනා නඩු විභාගය ද අත්හිටුවිණි.
පෙත්සම්කාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන් නීතීඥ ලක්නි සිල්වා මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ නලින් ලද්දූවහෙට්ටි සහ නීතීඥ හෆීල් ෆාරිස්. යන මහත්වරුන් පෙනී සිටියහ.

