හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 13 දෙනාට ඇප


(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 13 දෙනෙකුට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අද (24) නියම කළේය.

රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත අධිකරණයේ පෙනී සිටි විත්තිකාර නාවික හමුදා නිලධාරීන් 13 දෙනා මුදා හැරීමට නියම කළ විනිසුරු මඩුල්ල ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරයට බාරදීමටද නියම කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ලබන මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරු මඩුල්ල යළිත් සිතාසි නිකුත් කළේය.

එලෙස නියම කරන ලද්දේ මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා නීතීපතිවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව විභාග කිරීම සඳහා චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප්‍රසන්න වික්‍රමසුරිය, ඇන්ටන් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදා මාධ්ය ප්රකාශක ඩී. කේ. පී. දසනායක, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කේ. ගාමිණි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ මහත්වරුන්ය.

චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බවට නීතීපතිවරයා නිකුත් කළ ලිපියක් කොළඹ මහාධිකරණයේ ප්‍රදර්ශනය කෙරේ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා හැර සෙසු විත්තිකරුවන් 13 දෙනාම අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීමට සුදානම් වු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඊට විරෝධතා ඉදිරිපත් කරමින් මෙම විමර්ශන හේතූවෙන් ජාතික ආරක්‍ෂාවට හානියක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කොට ඇති බවත් තම සේවාදායකයින් ඊට පැමිණිලි ඉදිරිපත් කොට ඇති හෙයින් එම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ තීන්දුව ලැබෙනතුරු තම සේවාදායකයින්ට අධිචෝදනා පත්‍ර බාර නොදෙන ලෙසත් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන්  පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව කල් දමන ලෙස කොමිෂන් සභාවකින් ඉල්ලීමක් කොට නැති බවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින එක් නීතීඥවරයකු නඩුව කල් දමන ලෙස නීතීපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවත් පැවසීය.

ඉහළ අධිකරණ තීන්දුවකින් හැර මෙම ස්වාධීන අධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිසමකට යම් බලපෑමක් කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මෙම නඩුවේ කරුණු හේතූවෙන් ජාතික ආරක්‍ෂාවට හෝ රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බවද පෙන්වා දුන්නේය.

මෙම නඩුවේ කරුණු පසුගිය කාලයේ සිදුවු යුද්ධය සමඟ කිසිඳු සම්බන්ධයක් නැතැයිද මෙම නඩුවට පාදක වී ඇත්තේ පුද්ගලිකව සිදුකළ අපරාධයක් යැයිද කී සරත් ජයමාන්න මහතා විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කොට විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදෙන ලෙස ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තියේ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන්නේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මෙහි සාක්කිකරුවන්ට බලපෑම් සිදුවන අන්දමේ ප්‍රකාශ කළ නඩුවේ 08 සහ 09 වැනි විත්තිකරුවන්ට හැර සෙසු විත්තිකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි කීය.

ඉදිරිපත් වු කරුණූ සළකා බැලීමෙන් අනතුරුව එම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩු කටයුත්තට පෙනී සිටින ලෙස මෙම නඩුවේ 08 සහ 09 වැනි විත්තිකරුවන්ට නියම කළ විනිසුරු මඩුල්ල නඩුවේ සියළුම විත්තිකරුවන්ට ඇප නියම කළ අතර ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු විත්තිකරුගේ බිරිඳ විය යුතු බවද නියම කළාය.

මෙම නඩුව ලබන මස 07 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන නිරෝෂණ පෙරේරා, දේවින්ද රණවක, ජනාධිපති නීතීඥවරුන් වන අනුජ ප්‍රේමරත්න, අනිල් සිල්වා යන මහත්වරුන් ඇතුළු නීතීඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.