හිටපු එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර ආයුධ හදලා



 

(අනීෂා මානගේ)


සිය නිවෙසේ අවි ආයුධ නිශ්පාදනය කරන කම්හලක් පවත්වාගෙන ගිය බව කියන හිටපු පොලිස් විශේෂ කාර්යය බළකා කොස්තාපල්වරයකු ගිනි අවි,ජීව පතුරොම් ඇතුළු උපකරණ රැසක් සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරිහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල කඳුරුපොකුණ මාර්ගයේ සේනවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි හිටපු පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරියකු බව නිලධාරිහු කියති.

තංගල්ල හේනවත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙසෙහි මුළුතැන්ගෙයි මෙම ආයුධ කම්හල පවත්වාගෙන ගොස් ඇතැයි නිලධාරිහු කියති.

ටී56 පතුරොම් යෙදිය හැකි ගිනිඅවියක්, ටී56 ජීව පතුරොම් 20ක්, බෝර දොළහ එස්ජී වර්ගයේ ජීව පතුරොම් 4ක්, නොම්මර 4 පතුරොමක්, ටීකටස් වර්ගයේ ගිනි අවියක කොටස්, බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක කොටස්, ගිනි අවි නිශ්පාදනයට යොදාගන්නා අඟල් 6 ක් දිගැති බැරල් 4ක්, යකඩ බට, ආයුධ නිශ්පාදනය කිරීමට උපයෝගි කරගත් අඩු, පෑස්සීමේ උපකරණ, වෑල්ඩින් ප්ලාන්ට්, ග්‍රිල් ඇතුළු උපකරණ රැසක් සිය බාරයට ගත් බව පොලිසිය කියයි.

අත්අඩගුවට ගත් සැකකරු පොලිස් විශේෂ කාර්යය බළකායේ කොස්තාපල්වරයකු ලෙස සේවය කර වැඩ තහනමට ලක්වූ අයකු බව නිලධාරිහු කියති.