හිටපු ඇමති බෝගොල්ලාගමට අධිකරණයෙන් කැඳවීමක්


 

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ පෙත්සමකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට ලබන නොවැම්බර් මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ දිසා විනිසුරු මහේෂි ද සිල්වා මහත්මිය අද (11) නොතීසි නිකුත් කළාය.

එමෙන්ම අතුරු තහනම් නොතිසි ද අධිකරනයෙන් නිකුත් කෙරිණි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට හා වෘත්තිය ජීවිතයට හානි සිදු වූ බැවින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 100ක මුදලක් ඉල්ලා හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය  කොළඹ දිසා දිසා අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඉකුත් 2021 වසරේ ජූනි මස 14 දින පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක දී හිටපු අමාත්‍ය අර රෝහිත බෝගොල්ලාගම මහතා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට හානියක් සිදුවන බවට සඳහන් කරමින් පැමිණිලිකාරිය මෙම වන්දි මුදල ඉල්ලා තිබේ.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු වශයෙන් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නම් කරනු ලැබ ඇත

පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ  ජී.ජී. අරුණ ප්‍රකාශ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර මහතා අධිකරණයේ පෙනී සිටියේය.