හැංගිලා තිබ්බ එක්මෝ යන්ත්‍ර ප්‍රශ්නය එළියට ආවේ පුතාගෙ මරණෙන් පස්සේ


(චමිල් රූපසිංහ)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ප්‍රමාණවත් තරම් එක්මෝ යන්ත්‍ර නැතිකමින් සිය පුතුගේ ජීවිතය බේරාගත නොහැකි වූ බවත්, එබැවින් කොරෝනා ආසාදිතයන්ට භාවිතය සඳහා එම යන්ත්‍රයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට විශේෂඥ වෛද්‍යවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත්, කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාණන් වන, වෛද්‍ය ඩී. වයි. සරණතිලක මහතා පැවසීය.
 
දන්තනාරායන මහතාට පිං පැමිණවීම සඳහා රාගම සිය නිවසේ පැවැති පිංකමකදි ඒ මහතා මේ බව පැවසීය. පොල්පිතිමුකලාන අසෝකාරාම විහාරස්ථානයේ විහාරවාසි පොල්පිතිමුකලානේ පඤඤාසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිංකම පැවැත්විණි.
 
“එක්මෝ යන්ත්‍ර ගැන ප්‍රශ්නය මෙතෙක් කලක් හැංගිලා තිබුණේ. ප්‍රශ්නය එළියට ආවෙ මගේ පුතාගෙ ජීවිතය නැති වුණාට පස්සෙ. එක්මෝ යන්ත්‍රයක් හදාගන්න එක ඉදිරියේදි හෝ අපි කළ යුතුයි. ලංකාවේ ක්‍රියාත්මක වෙන යන්ත්‍ර එකක් පමණයි තියෙන්නේ. ඒ සම්බන්ධව දන්න එක වෛද්‍යවරියයි ඉන්නේ. මේ වගේ යන්ත්‍රයක් අපේ රෝහල්වල ස්ථාපනය කරනවා නම් කළ යුතු දෑ සම්බන්ධව මම එතුමිය සමග සාකච්ඡා කරා.
 
මම බලාපොරොත්තු වුණා මේ පළාතට රටට යම් කිසි සේවයක් කළා නම් මගේ පුතත් ඒ සේවයම පළාතට රටට ඉදිරියටම කරගෙන යයි කියලා. මම ඒ ගැන හරි ආඩම්බරයෙන් හිටියෙ. මොකද පුතා හරි දක්ෂයි, මිනිසුන්ට හරි ආදරෙයි, කරුණාවයි. හරි සුන්දර ළමයෙක්. ඒ වුණත් අපේ ඒ ඔක්කොම බලාපොරොත්තු නැතිකරල දාල ජනතාවගේ බලාපොරොත්තු සුන්කරල මගේ පුතා අපෙන් වෙන් වුණා.
 
මට මගේ පුතා මට වටිනවා වගේ දුප්පත් තාත්තෙකුට, අම්මෙකුට ඔවුන්ගේ දරුවනුත් වටිනවා. මේ වගේ රෝගියෙකු බේරගන්න, වුවමනා වෙලාවක එක්මෝ යන්ත්‍රයක් තියෙනවා නම් අපේ රටේ සම්පත් රැක ගන්න පුලුවන්. මෙයින් කියන්නෙ නැහැ මේ එක්මෝ යන්ත්‍රය කෝවිඩ් ආසාධ්‍ය අවස්ථාවේදි ගන්න යන්ත්‍රයක් කියලා. ඉතාමත් සරල වශයෙන් කියනවනම්  ගැබිනි මාතාවක් දරුවෙකු බිහි කරන අවස්ථාවේදි දරුවන් බේරාගන්නත්, මී උණ හැදුණු අයකුගේ පෙනහැළිවලට ලේ ගලන අවස්ථාවේදී, දියේ ගිලුණු මිනිසුන් බේරාගන්න, ඇමෝනියා-ක්ලෝරින් වගේ රසායනික වර්ග භාවිතා කරන අවස්ථාවේදි, හුස්මගන්න අපහසුතාවයක් ඇතිවුණොත් එක්මෝ යන්ත්‍රයක් තියෙනවා නම් දින කිහිපයකින් එම රෝගියාව සුව කරගන්න පුලුවන්.

නමුත් මේ වෙන්වීම හරහා මම අපේ සෞඛ්‍ය අංශයට එක්මෝ  යන්ත්‍ර නොමැතිකමේ අඩුපාඩු රැසක් දැක්කා. මම ජනතාවට පොරොන්දුවක් වුණා මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු හදාගන්න, රජයටත් සෞඛ්‍යටත් උදවු කරන්න. ඒ අඩුපාඩු හදාගන්න උදවු කරනව කියල මම හිතාගත්තා. ඒ පරමාර්ථය මම මේ වන කොට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ සම්බන්ධව රටේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධව විශාල වශයෙන් උපදෙස් ගත්තා. මෙතෙක් කාලයක් මේ රටේ හැංගිලා තිබ්ච්ච මේ ගැටලුවට මේ හරහා හෝ විසඳුමක් ලබාගන්න මුල්වුණ එක ගැන ඒ වෛද්‍යවරුන් සතුටු වුණා.

අපේ රටේ එක්මෝ යන්ත්‍ර දෙකක් තියෙනවා. අපේ අවාසනාවට දෙකින් එකයි වැඩ කරන්නෙ.  කොළඹ තිබෙන යන්ත්‍රය ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා මම මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය හරහා එක්මෝ යන්ත්‍ර කිහිපයක් ශ්‍රී ලංකාවේ රෝහල් කිහිපයක හෝ ස්ථාපනය කරන්න මිලදි ගන්න උදවු වෙන්නැයි ඉල්ලුවා. ඒ ඉල්ලීමට විශාල ප්‍රතිචාර ලැබුණා. මගේ පුතා හරහා දේශපාලනය කරන්න මට කිසිම හිතක් නැහැ. මට අවශ්‍ය කිසියම් කෙනෙකුගේ ජීවිතය බේරාගන්නයි. ඒ නිසා සියලු දෙනාම එකතුවෙලා මේ සත්කාරයට උදවු උපකාර කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයිද ඒ මහතා කීය.