හදාගත් දරුවාට වද දී මැරූ යුවළ පෝරකයට


(මනෝප්‍රිය ගුණසේකර)

දරුකමට හදාගත් වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු කෲර වධහිංසාවන්ට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අඹු - සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මරණ දණ්ඩනය නියම කළේය.

ගිනි පෙනෙළි වලින් පුච්චා, පහරදීමෙන් ඇති වු තුවාල 90ක් පමණ සිරුර පුරා අති මියගිය දරුවා වළදැමීමට සුදානම් වීමේදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මීට වසර 07කට පෙර අත්අඩංගුවට ගනු ලැබු දරු දෙදෙනකුගේ මව්පිය යුවළක් වන විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මෙලෙස මරණ දණ්ඩනය නියම කළේය.

ජනාධිපතිවරයා නියම කරන දිනය හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ද වනතෙක් විත්තිකරුවන් බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා නියම කළේය.

මෙලෙස මරණ දණ්ඩනය නියම කරන ලද්දේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනකුගේ මව්පිය යුවළක් වන මොහොමඩ් අලී මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහීම් ෆාතිමා සියානා නමැති අඹුසැමි යුවළකටය.

2018 මැයි 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී අවුරුදු දෙකක පිරිමි ළමයෙකු කෲර වධ හිංසාවට ලක්කොට මරණය කළ බවට විත්තිකාර යුවළට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.