හග්ගල රක්ෂිතයේ ගින්නක්


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය, හග්ගල අති සංවේදී දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තරය තුළ අද (23) ගින්නක් හට ගෙන ඇතැයි හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

හග්ගල, හුලංකපොල්ල ප්‍රදේශය ආශ්‍රිත වනාන්තරය  මෙම ගිනි ගැනීමට ලක්ව ඇති බවත්, මේ වනවිට එම වනාන්තරය තුල අක්කර 15 කට වැඩි බිම් ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවත් ඔවුහු කියති.

රක්ෂිත වනාන්තරය මැදින් දිවෙන අධි වෝල්ටීතාවයකින් යුත් විදුලි රැහැන් පද්ධතියක් කඩා වැමීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට වනජීවී නිලධාරීහු සැක පල කරයි.

හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතය යනු ශ්‍රි ලංකාවේ පවතින අධි ආරක්ෂිත වනාන්තර ත්‍රිත්වය අතරින් තෙත් කලාපය තුළ පිහිටි රක්ෂිතයක් වන අතර, මෙහි කඳුකර කොටියන්, කඳුකර ගෝනුන් මෙන්ම අං කටසු වර්ග ඇතුළු මෙරටට පමණක් ආවේණික සත්තව හා ශාක විශේෂ රැසකින් සමන්විත අති සංවේදී පරිසර කලාපයකි.

මේ දිනවල පවතින වියළි හා සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරී යමින් පවතින අතර, ගින්න නිවා දැමීම සඳහා  හග්ගල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් දැඩි පරිශ්‍රයක නිරතව සිටිති.