සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’ එන්නතක්


(සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක් (බූස්ටර් ) ලබාදීමට විශේෂ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතත් එලෙස එන්නත ලබාගත් සමහරුන්ට කොවිඩ් ආසාදනයවී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවට තොරතුරු හෙළි වී ඇති බවත් බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන බවත් හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් සඳහා පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දුන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුනට දෙවැනි එන්නත පසුගිය අප්‍රේල් මාසයේදී ලබා දුන් බවද පැවසුවේය.

කොරෝනා පාලනයට සෘජුව දායකව සිටින සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිරන්තරව සොයා බැලීමට කටයුතු කිරීම වැදගත් බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.