සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ


(අමිල චින්තක ගමගේ සහ කෝෂි ද සොයිසා)

සේවකයන් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් තැපැල් සේවකයන් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය සියයට 90 ක් සාර්ථක බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවැසීය.

ලංකාවේම තැපැල් මධ්‍යස්ථාන සියයට 80ක්ම වසා තිබූ බවත් විවෘතව තිබූ තැපැල් කාර්යාලවල ද කිසිදු මහජන සේවාවක් සිදු නොවූ බවත් බණ්ඩාර මහතා කීය.

සේවක ගැටලුව ඉක්මනින්ම විසඳන ලෙස ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන් බව ද එයට යහපත් ප්‍රතිචාරයක් ලැබෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

අද 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවකයන් සේවයට වාර්තා කරන බව ද එහෙත් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන්නේ නම් 24 වැනිදා සිට නැවත අඛණ්ඩව  වැඩ වර්ජනයේ යෙදීමට තම සංගමය බලාපොරොත්තු වන බව ද තැපැල් සේවක වෘත්තිය සමිති එකමුතුව  සඳහන් කළේය.

මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු හත්දාහක් පමණ තිබෙන බවත් තැපැල් කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වා ගැනීමට අවම වශයෙන් සේවකයන් දහසක්වත් බඳවා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන බවද ඔහු කීය.

වැඩ වර්ජනය සම්බන්ධව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරුද්ධ ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තැපැල් ස්ථානාධිපතිවරයාගේ සිට නියෝජ්‍ය තැපැල්පති දක්වා සෑම නිලධාරියකුම අසනීප නිවාඩු වාර්තා නොකර මුළු රටේම තැපැල් කාර්යාල ඒ ආකාරයටම පවත්වාගෙන ගිය බවයි. ඒකාබද්ධ  වෘත්තිය සමිති පවසන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පුරප්පාඩු හිඟය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය. එම සංගමය වැඩ වර්ජනය සඳහා සහයෝගය ඉල්ලා සිටියද මේ අවස්ථාවේ ඒ සඳහා සහයෝගය පළ නොකළ ද වර්ජනය සඳහා සාධාරණ හේතු තිබෙන බව පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේය. 


තැපැල් සේවකයොත් අසනීප නිවාඩු

2024-06-12
22:08

(නිමල කොඩිතුවක්කු)

තැපැල් සේවකයින් අද(12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)