සේලයින් - නික්‍ෂේපන ද්‍රාවණ මෙරටදීම නිපදවීමට පියවර


(ඩයනා උදයංගනී)

රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන සඳහා අවශ්‍ය සේලයින් ඇතුළු නික්‍ෂේපන ද්‍රාවණ රට තුළම නිපදවීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අවශ්‍ය සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ හා මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මගින් ශරීරගත කරන මූලික නික්‍ෂේපන ද්‍රාවණ බෝතල් මිලියන 43ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලාවක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පහසුකම් සපයා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

එම කර්මාන්ත ශාලාව ඉදිකරන කෙලූන් ලයින් සයන්සස් නැමති පුද්ගලික සමාගමේ නිෂ්පාදන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති අතර එය සිය නිෂ්පාදන ලබන මස සිට වෙළඳපලට සැපයීමට සැලසුම් කර ඇතැයි ද රමේෂ් පතිරණ මහතා කීවේය.

මෙරටට අවශ්‍ය නික්‍ෂේපන ද්‍රාවණ එම සමාගම වෙතින් සපයාගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට බලය පැවරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා පැවසීය.

ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මීට අමතරව රජයේ රෝහල්වලට අවශ්‍ය ශල්‍ය ගෝස් මීටර කෝටි තුනක් දේශීය සැපයුම්කරුවන් 461 දෙනකුගෙන් රුපියල් කෝටි 77ක මුදලකට මිලදී ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.