සීසීටීවී ගැලවීමේ සිද්ධියේ තවත් සිසුවෙක් රිමාන්ඩ්


(කවිතා සුබසිංහ)

කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ තවත් සරසවි සිසුවෙකු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් දෙශාල් පෝල් මහතා අද(09) නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, විශ්වවිද්‍යාලෙය් පළමු වසරේ ඉගෙනුම ලබන හෙට්ටි කංකානමගේ සදීප ජයනිදු ගුණසේකර නැමති අයෙකි.

සිද්ධිය ට අදාළව  සැකකරුවන් පස්දෙනෙකු මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බවත් 20 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් විමර්ශන තව තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණයේ දී පැවසීය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140 146 සහ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා වැරදි පිළිබඳ පනතේ 02 වගන්තිය යටතේ කරුණු වාර්තා කර ඇති බැවින් මෙහි අනෙක් සැකකරුවන් 2020.03.17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් මෙම සැකකරු ද 2020.03.17 වන දින දක්වා බන්ධනාගාර ගත කරන මෙන්ද පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.


සැකකාර සිසුවා පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.


නීතිඥ නලීන් අක්මීමන සහ සුදර්ශන වික්‍රමරත්න යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් 90071 රත්නායක සහ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙය වුහ.