
(එච්. චන්දන)
තම සීයා හීනෙන් කියූ මැණික් මල්ලක් ගොඩ දැමීම සදහා නිවස තුළ කැණීම් කරමින් සිටි මුණුපුරෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
ආරච්චිකට්ටුව - බුරුතකැලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර බුරුතකැලේ පදිංචි පිය - පුතු දෙපලක්ද,දූනගහ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු,කොටුගොඩ සහ මාරවිල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ මීමුරේ පදිංචි මන්ත්‍රාචාර්යවරයෙකුද වන බව පොලීසිය කියයි.
පොලීසිය වැටලීම කරන විට නිවස තුළ අඩි 18 ක් පමණ කැණීම් සිදු කර තිබී ඇත.එම ස්ථානයේ තිබී කැණීම් සදහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
නිවසේ කාමරයක් තුළ මැණික් මල්ලක් තිබෙන බවට මිය ගොස් සිටින තම පියා පුතාට හීනෙන් පවසා ඇති බවත්,එම මැණික් මල්ල ලබා ගැනීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු කළ බව අත්අඩංගුවේ පසුවන නිවසේ හිමිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

