සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි



 
(කාංචන කුමාර ආරියදාස)
 
 
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ  ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (31)  දින මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ  සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි .

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය සංචාරක පොලිසියේ  සේවා පිළිබඳව සොයා බැලීමට පැමිණ තිබිණි, ඒ අනුව සංචාරක පොලිස් ස්ථානය පිළිබඳව සොයා බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සීගිරිය ඇතුලත සිංහපාදය ආසන්නයට ගමන් කොට ඇත්තේ එහි නිරීක්ෂණ කටයුතු සඳහා ය.
 
සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සීගිරිය සිංහ පාදය දෙසට ගමන් කරමින් සිටියදී සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතා පිටුපසින් ගමන් කරමින් සිටිය දී සිංහ පාදය අසළ දී එකවරම ඔහු අසනීප තත්ත්වයකට පත්ව ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

එහි පැමිණි අනෙකුත් පොලිස් නිලධාරීන් වහාම හදිසි ගිලන් රථ සේවාව ගෙන් වත් පහලට ඔසවාගෙන විත් උපාලි කරුණාතිලක මහතා සීගිරිය රෝහලට ඇතුළත් කොට තිබිණි.  එසේ ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මිය ගිය පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය 01 දින දඹුල්ල මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.

අනුරුද්ධ බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය හ අවට ප්‍රදේශවල තත්ත්වය සොයා බලා සංචාරකයන්ගේ පැමිණීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම ආදී කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමට තමන් සීගිරිය සංචාරක පොලිසියට පැමිණි බවය.


එම අවස්ථාවේ සිදු වූ මෙම සෝචනීය සිදුවීම පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවද සඳහන් කළේය.