සිසුන් දෙදෙනකුගේ ගැටුමින් එක් සිසුවෙක් රෝහලට


(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක  සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ එක් සිසුවකු රෝහල්ගත කිරීමට කටයුතු කළ බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ හිතවත් පිරිසක් බලාත්කාරයෙන් ඇතුළුවී පාසලේ ඩෙස් බංකු උපකරණ කඩා දමා කලහකාරී ලෙස හැසිරී විදුහල්පතිවරයාට තර්ජනය කර ඇතැයි ද කියයි.  පැමිණිල්ල මත ඊට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු මේ වන විට අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමට ගිලන් රථය පාසල් භූමියට ගැනීම සඳහා පාසලේ ගේට්ටුව විවෘත කරනවාත් සමග එම කලහකාරී පිරිස පාසල් භූමියට ඇතුළු වන අයුරු ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි .