සිවාජිලිංගම්ට අවවාද කර මුදා හරී


එෆ්.අස්ලම්

අධිකරණ වරෙන්තුවක් මත  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා  අවවාද කර මුදා  හැරීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ගයත්‍රී සයිලවන් මහත්මිය අද  (5) නියෝග කළාය.

2018වසරේ නොවැම්බර් 26 වන දින වැල්වැටිතුරෙයි තිරුවිල් ක්‍රීඩාංගනයේ දී එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපත සමරා කේක් කැපීම සහ එය වැළක්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාලව සිවාජිලිංගම් මහතාට එරෙහි නඩු විභාගයක්  පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ  විභාග වේ.

පසුගිය මාසයේ පැවති එම නඩු විභාගය  සඳහා පෙනී නොසිටීම මත අධිකරණය විසින් නිකුත් කර තිබුණු වරෙන්තුවකට අනුව අද (5) උදෑසන වැල්වැටිතුරෙයි පොලිසිය සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගත්තේය. මහේස්ත්‍රාත්තුමිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අවවාද කර මුදාහැරීමට නියෝග කරමින් මීළග නඩුවාරය  ලබන වසරේ ජනවාරි 20 වනදා තෙක් කල් දැමීමට ඇය නියෝග කළාය.

ඡායාරූප - රොමේෂ් මධුසංඛ