සිමෙන්ති හිඟයටත් ‘ඩොලරය’ හේතුව වෙයි


(යොහාන් භාසුර)

රට තුළ ඇති වී තිබෙන සිමෙන්ති හිඟයට ආනයන සඳහා ඩොලර් ගෙවීමට ඇති ගැටලුව ප්‍රධාන සාධකය බවත් මිල වැඩි කිරීමට අවසර නොලැබීමත් වර්තමාන හිඟයට බලපා ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකාවේ සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉතිරි සියයට 40 ආනයන කරන බව කී එම නිලධාරියා ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් බොහෝ සමාගම් ආනයනය අත්හිටුවීම මෙම තත්වය හේතුව බව ද සඳහන් කළේය.

දේශීය සිමෙන්ති නිෂ්පාදනයේ සැළකිය යුතු අඩුවක් වී නොමැති බව සඳහන් කළ එම නිලධාරියා සිමෙන්ති හිඟයක් පැවතීම හේතුවෙන් මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් සිමෙන්ති රැස්කිරීම නිසා දැඩි හිඟයක් නිර්මාණ වී ඇතැයි ද කීය.

මෙම වසර මුල සිට සිමෙන්ති මිල වැඩි කිරීමට ඉල්ලීම් කළ ද ඒ සඳහා අවසර නොලැබීමෙන් බොහෝ සිමෙන්ති ආනයනකරුවන් ආනයනය නතර කර ඇති බවත් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් නොව ඊට වැඩි මුදලකින් ඉහළ දැමීමට ඉල්ලා ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

ආනයනික සිමෙන්ති සමාගමක නිලධාරියකු පැවසුවේ වාණිජ බැංකුවලින් ඩොලර් නොලැබීම හේතුවෙන් සිමෙන්ති ආනයනය අත්හිටුවා ඇති බවත් මීට පෙර පැය කීපයකින් ලබාගත් ලිපිලේඛණ ලබාගැනීම සඳහා දැන් සති කීපයක් ගතවන බවයි.

රට තුළ මේ වන විට ඇති සිමෙන්ති හිඟය හේතුවෙන් රුපියල් 950 ක් වන සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400 ත් 1500 ත් අතර මිලකට නිල නොවන මට්ටමින් අළෙවි කරන බව වාර්තා වේ.