(මුදිතා දයානන්ද)
සමූපකාර තොග වෙළඳ සංස්ථාවෙන් ආනයනික සහල් මිලදීගත් සමාගම් දෙකකින් අය විය යුතු කෝටි දොළහකට අධික මුදලක් ගෙවා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එක් සමාගමක් 2018 දෙසැම්බර් 31 දිනට රුපියල් කෝටි 11 . 8ක මුදලක් ගෙවීම සඳහා ලබාදී තිබු චෙක්පත් අගරු වී තිබු බවද එහි සඳහන් වේ. ණය නොගෙවා සිටියදිත් දිගින් දිගටම එම සමාගමට සහල් නිකුත් කර ඇති බවද එහි සඳහන් වේ.
එම විගණන වාර්තාවට අනුව ණය පදනම මත සහල් ලබාදිමේදි අගරු චෙක්පත් ලබාදුන් සමාගමෙන් රුපියල් කෝටි දහයක බැංකු ඇපකර දෙකක් ලබාගෙන ඇති නමුත් ඒවායේ සත්‍යතාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිමක් කර නැත.
ණය නොගෙවීම හා අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී ඇති පරිදි එම සමාගම ලබාදී ඇති බැංකු ඇපකර දෙකද සාවද්‍ය ඒවාවේ.
එම සමාගමට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හා කොළඹ වානිජ මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එසේම තවත් ගැනුම්කරුවකු ලක්ෂ 56කට ආසන්න වටිනාකමින් යුත් සහල් මිලදි ගෙන ඇතත් ණය පදනමින් සහල් ලබාගත් බව ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
එම සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණල්ලක් ඉදිරිපත් කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

