සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් සෙබළා අත්අඩංගුවට


(කේෂර ගුණතිලක)

තැපැල් ඡන්දය ප්‍රකාශකිරීම සඳහා  අද(7) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි යුද හමුදා සෙබළෙකු සළකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරමින් සිටියදී මැතිවරණ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය වරුණගම යුද හමුදා කඳවුරේ සේවය කරන, කොලොන්න පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ඡන්දදායකයෙකි.

තැපැල් ඡන්දය ප්‍රකාශකිරීමට නියමිත දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ නොකිරීම නිසා අද(7) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර මැතිවරණ කාර්යාලයට පැමිණ ඔහු තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඡන්ද පත්‍රිකාව දුරකථනයෙන් ඡායාරූප ගත කරන අයුරු මැතිවරණ නිලධාරීන් දැක ඒ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික ගයාන් පතිරණ මහතාට දැනුම්දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන මොනරාගල පොලීසියට බාරදී ඇත.

මොනරාගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.