සරසවියක් කියල දැනෙන්න නම් ගහ ගන්නම ඕන:සිල් ගත්තාට පත්තරවල යන්නේ නෑ


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

“විශ්ව විද්‍යාලයක් සැබැවින්ම එය විශ්ව විද්‍යාලයක් බවට දැනගන්නට නම් අද බස් දෙකක් වත් ගිනි තියලා තියෙන්න ඕනෑ. දහයක්වත් හිරේ ඉන්න ඕනෑ. දහ දෙනෙක් විතර ගුටි කාල තියෙන්න ඕනෑ. අට දෙනෙක් විතර එකවර ඔළු පලාගෙන ඉන්න ඕනෑ. ඕවනෙ පත්තර වල යන්නෙ එහෙම නැතිව සීල ව්‍යාපාරයක් කළාට මේ වගේ රුක් රෝපණ ව්‍යාපෘතියක් කළාට පත්තරවල ඕව යන්නෙ නැහැ. මොකද මේවට ඒ තරම් ඇදිල යන ගතියක් නැහැ. ”‍ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය උදිත් කේ. ජයසිංහ මහතා ගනේවත්ත කැකුලාවල දී පැවසීය.

අද වනවිට ලංකාවේ විශ්ව විද්‍යාලවල පවතින එම තත්වය සම්බන්ධයෙන් උප කුලපතිවරයා අදහස් පළ කළේ වයඹ විශ්ව විද්‍යාලයේ “ ට්‍රී ෆෝර් ලයිෆ්”‍ සංගමය විසින් දැදුරුඔය ජලාශ රක්ෂිත ප්‍රදේශයේ අරම්භ කෙරුණ රුක් රෝපණ වැඩසටහනකට එක්වූ අවස්ථාවෙදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපති වරයා මෙසේ ද පැවසීය. “වයඹ විශ්ව විද්‍යාලයක් තියෙනව කියල ඔබ සමහරවිට දැනුවත් නැතිව ඇති. ඒ මොකද අද විශ්ව විද්‍යාලයක තිබිය යුතු ඒ  සාධක අපේ විශ්ව විද්‍යාලය ඇතුළෙ නැහැ. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කිසිම පීඨයක ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක එහෙම නැත්නම් ආචාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් අර කිව්ව දේවල්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපේ කිසිම දරුවෙක් හෝ වෙනයම් කෙනෙක් පොලිසියේ නඩු දාගෙන අනවශ්‍ය දේවලට සම්බන්ධ වෙන්න නැහැ. ඉතාමත් සංසුන් විශ්ව විද්‍යාලයක්. ඔබට එහි ආවොත් අහළ බලන්න හිතෙනවා මේ විශ්ව විද්‍යාලයක්ද කියලා. මොකද අනෙක් විශ්ව විද්‍යාලවල ඉදිරිපිට තියෙන කිසිම දෙයක් අපේ විශ්ව විද්‍යාලය ඉදිරිපිට නැහැ. තියෙන්නේ සංසුන් පරිසරයක්.

පසුගිය කාලයේ පහන් කූඩු ප්‍රදර්ශන වැනි දේවල් තිබුණා. ලක්ෂ දෙකකට අධික පිරිසක් ඒව බලන්න විශ්ව විද්‍යාලය ඇතුළට ආව. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපේ ළමයි තනියම ඇවිත් මේ ගම්වාසීන් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒක තමයි අපි විශ්වවිද්‍යාලය තුළින් ලබාදෙන සංස්කෘතිය.

අපි අද මේ ගස් හදල ගියාම මේ පාසලේ කුඩා දරුවන් තමයි ඉදිරියට ඒක බලාගන්නෙ. ඒක හරියට කෙරෙන්නේ නැතිනම් තමන්ගෙ විදුහල්පතිතුමියට කියලා තව ප්‍රශ්න තියෙනව නම් අපට කියල මේක අවුරුදු තුන හතරක් බලාගන්න එක ඔබට බාරයි.

මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණඩලය දැදුරුඔය ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිලූකා ජයවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම නින්දගම විද්‍යාලයේ විදුහල්පතිනිය ආචාර්ය මණ්ඩලය ඇතුළු දූ දරුවන් සහ ප්‍රදේශවාසීහු එක්ව සිටියහ.