
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් ) නිර්දේශ කළේය.
එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ 2023 මූල්‍ය වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය.
නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඔහු පැවසුවේය.
එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
ඒ අනුව පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන දුන්නේය.


