සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි


සඳ මත ජලය පවතින බව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ.ඔවුන් පවසන්නේ සඳෙහි සූර්යයාට මුහුණලා ඇති පැත්තේ ජලය ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවයි.

චන්ද්‍රයාගේ ක්ලැවියස් නමින් හැඳින්වෙන ආවාටයෙන් ජල අණු (H2O) සොයාගැනීමට සමත් වූ බව මෙම පරීක්ෂණය සිදුකළ ඇමරිකාවේ හවායි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.ඔවුහු නාසාහි අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වන ස්ට්රෝටෝස්පරික් නිරීක්ෂණාගාරය මෙම පරීක්ෂණ සඳහා යොදා ගත්හ.
මෙම අධ්‍යයනය පිළිබඳ දත්ත නේචර් ඇසුට්‍රොනොමි සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.

පර්යේෂකයන් පවසන්නේ මෙම ජල අණු චන්ද්‍ර පෘෂ්ඨය පුරා විසිරී පවතින බවයි. සඳ මත සීතල සහිත හෝ සෙවනැලි සහිත ස්ථාන වල පමණක් ජල අණු පවතින බව මුලින් සිතා සිටියද පසුව එම මතය වෙනස් කිරීමට සිදුවූ බව ඔවුහු පවසති.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ චන්ද්‍රයාන් - 1 මෙහෙයුමේදී සඳමත යම් ආකාරය හයිඩ්‍රජන් වර්ගයක් පවතින බව අනාවරණය වූ අතර නාසා විද්‍යාඥයින් පැවසුවේ එය ජලය හා සමීප රසායනික සංයෝගයක් වන හයිඩ්‍රොක්සයිල් (HO) විය හැකි බවයි.

චන්ද්‍ර පෘෂ්ඨයේ පස් කියුබික් මීටරයක ජලය අවුන්ස 12ක් පමණ පවතින බවද විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.සන්සන්දනාත්මකව බැලුවහොත් සහරා කාන්තාරයේ පස් කියුබික් මීටරක සඳෙහි ඇති ප්‍රමාණය මෙන් සියගුණයක් ජල පරිමාවක් තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨයේ පවතින්නේ කෙසේද යන ප්‍රශ්න වලට විසඳුම් සොයාගතු යුතු බවද විද්‍යාඥයෝ සඳහන් කරති.

"ජලය ලෙස හඳුන්වන අප දන්නා හුරු පුරුදු දෙය සඳෙහි හිරු එළිය ඇති පැත්තේ තිබිය හැකි බවට අපට යම් සාක්ෂි තිබුණා. දැන් අපි සත්‍ය වශයෙන්ම දන්නවා එය එහි ඇති බව. මෙම සොයා ගැනීම චන්ද්‍ර පෘෂ්ඨය පිළිබඳ අපගේ අවබෝධය අභියෝගයට ලක්කරන අතර තවත් කුතුහලය දනවන ප්‍රශ්න කිහිපයක් ද මතුකරයි." යනුවෙන් මෙම අධ්‍යයනය සිදුකළ හවායි විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය කේසි හනිබෝල් පවසයි.

විදෙස් මාධ්‍ය ඇසුරිණි

085