සතියකට වරක් ස්පුට්නික් එන්නත් ලක්ෂයක්


(ඩයනා උදයංගනී)

කොරෝනා වසංගතයට පිළියමක් ලෙස රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්‍ෂ 135ක් මෙරටට ගෙන්වන බවත්, එම එන්නත් මාත්‍රා ලක්‍ෂය බැගින් ඉදිරියේදී සෑම සිකුරාදා දිනකට මෙරටට ගෙන එන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ස්පුට්නික් එන්නත් ලබාගැනීම වෙනුවෙන් මේ වන විටත් රජය මුදල් ගෙවා අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම එන්නතෙහි ජීව කාලය මාස 6ක් බැවින් එය කඩිනමින් ලබාදීමට සැලසුම් සකස් කරගත යුතු බව ද ඇමතිවරයා කියයි.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකාවට ස්පුට්නික් එන්නත් ලබාගැනීම අරඹමින් එන්නත් මාත්‍රා 15,000ක් ගෙන්වීම අද පෙරවරුවේ සිදුවිය.