(ඉන්දිකා රාමනායක)
නිරෝධායන කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයන් රැසක් අනවසරයෙන් ජලය ලබාගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් ලක්ෂ 18 ක මුදලක අලාභ කර ඇති බව එම මණ්ඩලය පවසයි.
ඉකුත් මැයි මස සිට මේ දක්වා මෙම වංචාව සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල මත මෙම වැටලීම් සිදුකළ බවද එම මණ්ඩලය කියයි.
මෙම වැටලීමේ දී නීති විරෝධීව ජලය ලබාගත් ස්ථාන 27 ක හදුනාගත් බවත්, මෙම ස්ථාන 27 ට නිවාස, හෝටල්, කර්මාන්ත ශාලා වන බවද ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
නීති විරෝධීව ජලය ලබා ගැනීමෙන් මණ්ඩලයට සිදුවු පාඩුවෙන් ලක්ෂ 13 ක මුදලක් මේ වනවිට සැකකරුවන් විසින් ගෙවා ඇති බවද එම නිලධාරියා කියා සිටියේය.
වංචනික ලෙස ජලය ලබාගත් නිවාස අතර කොළඹ 7 නිවාස ද වන බවද ජල සම්පාදන මණ්ඩලය පවසයි.
මෙම වැටලීම් දිගින් දිගටම සිදු කරන බවද ජල සම්පාදනය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

