
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව පළාත් පාලන ආයනවල අයවැය ඡන්දයේදී ජාතික ජනබලවේගයට සහයෝගය දුන් එම පක්‍ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු අට දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවූ බව එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් අද (19) පැවසීය.
එම මන්ත්‍රීවරු අටදෙනා පිළිබඳව එම පක්‍ෂයේ මීළඟ මධ්‍යම කාරන සභා රැස්වීමට වාර්තා කර විනය පියවරගැනීමට කටයුතු කරන බව ද එම පක්‍ෂය පවසයි.
පදියතලාව ප්‍රාදේශීය සභාවේ වීරසිංහ දර්ශන විතානගේ, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහොමදු නසීර් මුහම්මදු රිනොස්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ. ඒ. අනුර කුමාර, මාරසිංහ ආරච්චිගේ අමිල් එරංග සහ රතුගමගේ උමේෂා රශ්මි මල්ෂානි, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වගලන්ගේ අතුල කුමාර වගලත් සහ බාලසූරිය මුදියන්සේලාගේ අනුර කුමුර සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ජී. කේ. සුමේද ලක්මාල් යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය මෙසේ අත්හිටුවූ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.

