ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලංකාවට ගෙන්වාගත යුතු බව සුමන්තිරන් කියයි


(බිඟුන් මේනක ගමගේ) 


සරණාගතභාවය මත  ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නැවතත් මෙරටට ගෙන්වාගැනීම දෙමළ ජාතික සන්ධානයේ මතය යැයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ‘ලංකාදීප’ යට අද (5) පැවසීය.


ජාත්‍යන්තර නීතියට අනුව නැවත මව් රටට යනවාද නැද්ද යන්න සරණාගතභාවයේ සිටින්නන් තීරණය කළ යුතු යැයි ද ඔවුන්ට පුරවැසිභාවය දෙනවාද නැද්ද යන්න ඉන්දීය රජය තීරණය කළ යුතු යැයි ද සුමන්තිරන් මහතා අවධාරණය කර කීය. 


සුමන්තිරන් මහතා මෙම අදහස පළ කළේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ සම්මත කළ පුරවැසි පනත සමඟ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් නැවත මෙරටට එවිය යුතු යැයි තමිල්නාඩුවේ බී.ජේ.පී පක්ෂ ප්‍රධානියා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදීය.

  
58,000 කට අධික ශ්‍රී ලාංකික දෙමළ ජන පිරිසක් මේ වනවිට ඉන්දියාවේ වාසය කරන්නේ යැයි කී හෙතෙම ඔවුන්ට මෙරට හැරයන්නට සිදුවුණේ දෙමළ ජනයා ඉලක්ක කරගෙන ආරම්භ වූ ජාතිවාදී කෝලාහල නිසා යැයි ද පැවසීය.


ඔවුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට එන්නට කැමැත්තෙන් සිටියත් ඔවුන්ගේ ඉඩම් හා ජීවනෝපාය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.


ඉන්දියානු පාර්ලිමේන්තුවට පුරවැසි පනත ඉදිරිපත් කිරීමට පෙර සිටම මෙම ජන පිරිසේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැවැතියේ යැයි ද එනිසා මෙම පනතින් තිබූ අයිතියක් අහෝසි වීමක් සිදුව නැතැයි ද සුමන්තිරන් මහතා කීය.


ශ්‍රී ලාංකික දෙමළ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය 2010 වසරේදී ඉන්දියාවට ගොස් හිටපු අගමැති මන්මෝහන් සිං මහතා සමගත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සමඟත් සාකච්ඡා කළැයි එහි ප්‍රතිඵලයක් හැටියට එම ජන කොටසට යම් යම් සහන හිමි වී යැයි ද සුමන්තිරන් මහතා සඳහන් කළේය. 


අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ රැඳී සිටින මෙම පිරිසෙහි දෙවැනි හා තුන්වැනි පරම්පරා පවා බිහිව ඇතැයි ද ඉන්දියානුවන් සමඟ විවාහ වී සිටින දෙවැනි පරම්පරාවේ තරුණ පිරිස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නැතැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.