ශ්‍රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා


(යොහාන් භාසුර)

රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්‍යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.  

උසස් වීම් දුන්න ද අදාල නිලධාරීන් නව දෙනාගේ වැටුප් ඉහළ නොදැමූයේ යැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බලධාරීන් වරාය හා ගුවන් සේවා අමත්‍යංශයට දැනුම්දී තිබුණ ද මාසිකව රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න මුදලක් ඔවුන්ට දීමනා ලෙස ගෙවා ඇති බව කියන වෘත්තිය සමිති අදාල උසස්වීම් ද ශ්‍රීලන්කන් ගුවන් සේවයට වර්තමාන අවශ්‍ය නොවන ඒවා බව ද සඳහන් කරයි.

එම උසස්වීම්වලින් අදාල නිලධාරීන් නව දෙනාගෙන් මූලික වැටුප ඉහළ නොදැමුව ද වෙනත් දීමනා ඉහළ දමා ඇති බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය රජයේ නීති රෙගුලාසි කඩකර ඇති බවත් වෘත්තිය සමිති පවසයි.

මෙම උසස්වීම් සහ දීමනා පිළිබඳව පරීක්‍ෂණවක් පවත්වා පාලක මණ්ඩලය කර ඇති වැරැද්ද නිවැරදි කරන ලෙස වෘත්තිය සමිති වරාය හා ගුවන් සේවා අමත්‍යංශ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මීට පෙර ඉල්ලීමක් කළ ද පරීක්‍ෂණයක් නොපැවැතුණු බව කියන වෘත්තිය සමිති හැකි ඉක්මණින් පරීක්‍ෂණයක් පවත්වා සාධරණය ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.