ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් සැසියට


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලයේ වාර්තාව අද (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය ඉදිරිපත් කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්කාර්යාලය පසුගිය මාර්තු මස ඉදිරිපත් කළ ලිඛිත යාවත්කලීන කිරීමේ සිට අද වනවිට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින බව මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත වාර්තාව ඉදිරිපත් කරමින් වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ්  ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මාස ගණනක සිට ඉන්ධන, ආහාර, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. 

ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් මෙම යථාර්ථයන් මිනිසුන්ගේ ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ වැඩ කිරීමේ අයිතීන් අඩාල කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.