(ජේ. කේ. එල්. චාමින්ද සහ ඩී. ජේ. විජේසිංහ)
වෙදනළාවක් රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් අසළ සැරිසැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව පිලාන ප්‍ර දේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන විවාහක කාන්තාවක් බව අනාවරණය වී ඇත.
සැකකාර කාන්තාව කුඩා කාලයේ සිටම වෛද්‍යවරියක් බවට පත්කිරීමේ ආශාවක් ඇගේ මිත්තනියට තිබී ඇති බවත්, ඇයට එය ඉටුකිරීමට නොහැකි වූ බවත්, ඇය කලා අංශයෙන් උසස්පෙළ හදරා පසුව මානසික උපදේශන පාඨමාලාවක් හදරා ඇති බවත් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
වෙදනළාවද එම මිත්තනිය විසින් මිලදීගෙන දී ඇති බවද පොලිසිය පවසයි.
මිත්තනියගේ මිතුරියක් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මිත්තනිය සතුටු කිරීම සඳහා වෙදනළාව රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනීසිට ඇති බවද පොලිසිය පවසයි.
රෝහල් පොලිසිය ලද තොරතුරක් මත අන්අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනාව යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාව අද (18)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

