( තිලකරත්න දිසානායක)
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික ප්‍රතිකාර පිණිස වන මෙරට ප්‍රථම ජාතික මධ්‍යස්ථානය රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (25) විවෘත කෙරිණි.
ජනාධිපතිවරයා, සමරු ඵලකයක් නිරාවරණය කරමින් ගොඩනැගිල්ල විවෘත කළ අතර මධ්‍යස්ථානයේ සෑම අංශයක් වෙත යමින් දරුවන්ට ලබාදෙන ප්‍රතිකාර කටයුතු නිරීක්ෂණය කළේය. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙම අවස්ථාවට සහභාගි වී සිටි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස මධ්‍යස්ථානයෙහි පාලනාධිකාරිය සමඟ මෙහි කටයුතු සම්බන්ධයෙන් සහ සිදුකෙරෙන සේවාවන් පිළිබඳව පැයකට අධික කාලයක් සාකච්ඡා කළහ.
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍යපීඨ පරිශ්‍රයෙහි "ආයති" නමින් නම් කරමින් ඉදිකොට ඇති මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා රුපියල් මිලියන 550ක මුදලක් වැයකර ඇති අතර මාස 13ක් වැනි කාලයක් තුළ යුද හමුදාව මගින් ඉදිකිරීම් කටයුතු නොමිලයේ සිදුකර ඇත.
මෙම "ආයති" මධ්‍යස්ථානය වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විවිධ ආබාධිත තත්වයන් සඳහා සායනික සේවාවන් සිදුකෙරෙන අතර සියළුම කායික සහ මානසික ආබාධ තත්වයන් වෙනුවෙන් මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුළුව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු පුලුල් සේවාවන් රාශියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඉහළම ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත කොට ඇති "ආයති" මධ්‍යස්ථානය නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවේදක කාමරය, විවිධ ක්ෂේත්‍ර ආවරණය කිරීමේ පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුළුව පහසුකම් රාශියකින් සමන්විතය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ආබාධිත වෛද්‍ය ප්‍රතිකාර අධ්‍යයනාංශයේ ඉහළ සුදුසුකම් සහිත වෘත්තීය විශේෂඥයින් විසින් මෙහි සායන පැවැත්වීම සිදු කරති. මේ වනවිට මෙම මධ්‍යස්ථානය මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබාදීම ආරම්භ කොට ඇති අතර ආබාධ සදහා මෙතෙක් මෙරට දරුවන් හට පහසුවෙන් ලබා ගත නොහැකිව තිබු සේවාවන් රාශියක් ලබා දෙන බවත් මෙහි සාර්ථකව අනුව ඉදිරියේදී රටපුරා වෙසෙන, මෙබදු සේවාවන් අවශ්‍ය එහෙත් වැයවන වියදම් දරා ගැනීමට නොහැකි අයහට සේවාවන් ලබා ගැනීමට හැකි අයුරින් කටයුතු පුලුල් කිරීමට සැලසුම් කරන බවත් " ආයති " භාරය සදහන් කරයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සායනික ප්‍රතිකාර සඳහා රාගම ඉදිකර ඇති ‘ආයතී’ ජාතික මධ්‍යස්ථානයට අරමුදල් සපයන ලද්දේ හේමාස් හෝල්ඩින්ස් සහ මාස් හෝල්ඩින්ස් යන සමාගම් විසිනි.
රොෂාන් විජේරාම පදනම ද ඒ සඳහා අරමුදල් සපයා ඇති අතර, රොටරි සමාජය ශ්‍රවණ උපකරණ ලබාදී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් වසරක පමණ කාලයක් තුළ මෙය නොමිලේ ඉදිකර තිබීම ද විශේෂත්වයකි.
මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ , එහි වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිලන්ති ද සිල්වා , ආයති මධ්‍යස්ථාන ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාල යන මහත්ම මහත්මීන් අදහස් දැක්වූ අතර ආබාධිත තත්ත්වයෙන් පසුවුවද මේ වනවිට කැලණි සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජනසන්නිවේදනය හදාරන තිමාලි ප්‍රියානි සිසුවිය ඇතුළු ආබාධිත තත්ත්වයෙන් සිට ප්‍රතිකාර ලබා යම් සුවයකට පත් දරුවන් කිහිප දෙනෙකුද මෙහිදී කතා කළහ. " ආයති " භාරය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙය භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.
මෙම අවස්ථාවට නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා , යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ , ආයති ව්‍යාපෘති උපදේශිකා තුසිත කුමාරසිංහම් , ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම යන මහත්ම මහත්මීන්ද , විශ්වවිද්‍යාල නිලධාරීන් , වෛද්‍ය නිලධාරීන් , පෞද්ගලික ආයතන නිලධාරීන් , රංගන ශිල්පීන් , ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.







