විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත් දීම විශ්ව විද්‍යාලවලදීම


(ඩයනා උදයංගනී)

විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා සිදුකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව මෙරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට තමන් පදිංචිව සිටින ස්ථානයට ආසන්නයේම පිහිටි විශ්ව විද්‍යාලය වෙත ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමුකරන කණ්ඩායම් මගින් මෙම එන්නත්කරණ කටයුතු සිදුවන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කීවේය.

විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් සාමාන්‍ය තත්වයට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක බවත්, තමන්ට ආසන්නම විශ්ව විද්‍යාලයකට පැමිණ එන්නත ලබාගන්නැයි දැනට එන්නත් ලබානොගත් සියලු සිසුන්ට දැනුම් දෙන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.