(තිළිණි ද සිල්වා)
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු, කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට පැවසෙන තොරතුරුවල සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ලබන සිකුරාදා (19) අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියම කළේය.
කල්ලාරු රක්ෂිතය කපා දමන බවට සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෝසමක් අභියාචනාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ මනෝහර ජයසිංහ මහතා වෙත මෙම නියෝග කරනු ලැබීය.
විල්පත්තු රක්ෂිතය කැපීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමට අදාළව මෙම මෝසම ගොනු කර තිබේ.
එම මෝසම සහ විල්පත්තු වනාන්තර කලාපය හෙළිකර සිදුකර තිබෙන නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍ර ගොනු කළ රිට් පෙත්සම අද (15) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දන්වා සිටියේ විල්පත්තු ජාතික වනාන්තර කලාපයට මීටර් 400ක් පමණ ආසන්නයේ පිහිටි මරිච්චුකට්ටු, කල්ලාරු වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ කිසියම් පිරිසක් විසින් එළිකර එහි අනවසර ඉදිකිරීම් රැසක් සිදුකරමින් තිබෙන බව සඳහන් කළේය.
වන සංරක්ෂණ පනතේ තුන් වන වගන්තියට අනුව මේ ආකාරයෙන් වනාන්තර හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම වරදට වරදකරු වන පුද්ගලයකුට වසර පහක් දක්වා සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.
එමඟින් විශාල පරිසර හානියක් සිදුවන බැවින් එම රක්ෂිතය කපා දැමීම අත්හිටුවන අතුරු තහනම් නියෝග නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වනාන්තර පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු වාර්තා පදනම් කරගෙන පෙත්සම්කරු මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන බවට චෝදනා කළේය.
පෙත්සම්කරු පවසන පරිදි කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට එල්ල කරන චෝදනාවල ඇත්ත නැත්ත තමන් නොදන්නා බවද රජයේ නීතීඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙහිදී ජනක් ද සිල්වා විනිසුරුවරයා රජයේ නීතිඥවරයාගෙන් මරිච්චකට්ටු වනාන්තර කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා උපදෙස් ලබාගෙන තිබෙනවාද යන්න ප‍්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම කරුණට අදාළව තමන්ට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාවක් නොලැබු බවත් , ඊට තමන්ට උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය බවයි.
මෙම කරුණට අදාළව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන 19 වැනිදා අධිකරණය දැනුවත් කරන ලෙස රජයේ නීතිඥවරයාට අභියාචනාධිකරණය නියම කළ අතර රිට් පෙත්සම එදිනට කැඳවීමට තීන්දු කරන ලදී.
පෙත්සම්කරු වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ සහ නිල්මල් වික‍්‍රමසිංහ යන නීතීඥවරු ද, නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා ද පෙනී සිටියහ.

