විමල්ට බන්දුලගෙන් සැර පිළිතුරක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාර්ග අනතුරු වළක්වන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කරන තොරතුරුවලට  සවන් දීමට  මේ උත්තරීතර සභාව සූදානම් නැත්නම් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව පුස්තකාලයේ තැබීම සඳහා සභාගත කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී  පසුගිය ජනවාරි මාසයේදී හත් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශයක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා රටේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශ නිකුත් කිරීමට ගියොත් පාර්ලිමේන්තුවට  වෙන වැඩක් නැති වේවි යැයි  සඳහන් කරමින් ඊට  විරෝධය පළ  කළේය. අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ ඒ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

විමල් වීරවංශ මහතා

රිය අනතුරක් ගැන මොකක්ද මේ කරන අමාත්‍යාංශ ප්‍රකාශය. කවුරුත් මේ සභාවේ  රිය අනතුරක් ගැන ප්‍රශ්න කළේ නෑ. අපිත් ඇමැතිකම් කරලා තියෙනවා. රිය අනතුරු වෙන තරමට ඇමැතිවරුන්  ප්‍රකාශ කරන්න ගියොත් මෙතන මොකුත් කරන්න වෙන්නේ නෑ.

ගුණවර්ධන මහතා:

ඔබලා  තේරුම් ගන්න මේක විශාල අනතුරක්.

වීරවංශ මහතා:

මිනිස්සු මැරෙන අනතුරු ඔක්කොම විශාල  තමයි.

ගුණවර්ධන මහතා:

මේ රිය අනතුර සුවිශේෂ එකක්. ප්‍රවාහන අංශවල අවධානය යොමු කිරීමට මේ වාර්තාව සකස් කළේ.

මම ඒක පුස්තකාලයේ තබනවා අවශ්‍ය කෙනෙකුට කියවා ගන්න පුළුවන්.  මනුෂ්‍ය ජීවිත හතක් නැතිවෙලා. ඒකට විසඳුම් ඉදිරිපත් කළාම ඒක අවශ්‍ය නැද්ද. ඒක බාර ගන්න මේ උත්තරීතර සභාව සූදානම් නැත්නම්  වාර්තාව  සභාගත කරන්නම්.  උනන්දුවක් නැති වීම ගැන මම කනගාටු වෙනවා.

වීරවංශ මහතා ( සිනහමුසු මුහුණින් යුතුව)

වාර්තාව සභාගත කිරීම ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඒ වාර්තාව අධ්‍යයනය කරන්නම්. මීට පස්සේ මේ රටේ රියඅනතුරු වෙන්නේ නැති බවට  සහතිකයක් දෙනවා. අපි ඒ ගැන ඔබතුමාට ගරු කරනවා.