විදේශ ඇමති හා තානාපතිවරුන් හමුවක්


(තිළිණි ද සිල්වා )

සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළ හැකි ක්‍රම හා මෙරට සංහිදියා යාන්ත්‍රණයේ ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට අමෙරිකානු තනාපතිවරිය සහ යුරෝපා සංගම් තනාපතිවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බීග ටෙප්ලිට්ස් මහත්මිය සමග විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට තුළ සිදුවන ධානාත්මක වර්ධනයන් පිළිබඳ අමාත්‍යවරයා විසින් තානාපතිවරිය දැනුවත්කර ඇති බව වාර්තා වේ.

සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස හමුවූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන් දැනුවත් කළ බවද විදේශ අමාත්‍යාංශය පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සහ සංහිඳියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය ඇතුළු අඛණ්ඩ ක්‍රියාවලීන් පිළිබඳව ද අමාත්‍යවරයා එම තානාපතිවරුන් දැනුවත්කර තිබේ.

මෙම හමුවට ප්‍රංශයල ඉතාලිය, රුමේනියාව, ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් හා දූත කාර්යාලවල නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වු බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.