විදෙස් රැකියා පැමිණිලි ගැන බලන්න විශේෂ විමර්ශන ඒකකයක්


(අංජුල මහික වීරරත්න)

විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවයකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනකු අනුයුක්ත කොට තිබේ.

“විදේශ රැකියා වංචාවන් වැලැක්වීම හා පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබා දී විගමනික ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටවු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් කීය.

“මං හිතන්නේ පසුගිය කාලවකවානු තුළ ලැබෙන පැමිණිලිත් වැඩිවෙලා තියෙනවා. විදේශ රැකියා වංචා කරන පාර්ශව උපක්‍රමශීලීත්වය පාවිච්චි කිරීම ඊට හේතුවයි.ඇතැම් කණඩායම් කාර්යාංශයේ ලියාපදිංචි නොවු ඒජන්සි ආයතන විදියට වංචා කරනවා.

තව සුලු පිරිසක් කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි විදියට වංචා කරනවා"යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධන කිරීමට හෝ අවශ්‍ය නම් නව පනතක් ගෙනවිත් විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී බී.එම්.ටී.බස්නායක , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.