විදුලිබල මණ්ඩලයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල්යයි


(නිමන්ති රණසිංහ)
          
නොදන්වා විදුලි කප්පාදුවක් සිදුකර ඒ සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමට තොරතුරු ලබා නොදුන්නැයි කියමින් එම කොමිසම විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (9) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා විදුලිබල මණ්ඩලයට අධිකරණයේ පෙනී සිටිමට අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවේ ඉකුත් 2 වැනිදාය. 

මෙහිදී විත්ති පාර්ශ්වය නියෝජනය කරනු ලබන ජනාධිපති නිතීඥවරයා විදෙස් ගත වීම හේතුවෙන් මෙම නඩුව  කල් තබන ලෙසට විදුලිබල මණ්ඩලය මෝසමක් මගින් අධිකරණයෙන් කර තිබූ ඉල්ලිමකට අනුව මෙම නියෝගය නිකුත් විණී. 

2002 අංක 53 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභා පනතේ 15 වැනි වගන්ති ප‍්‍රකාරව ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2018 වර්ෂයේ මැයි මස 28 වැනිදා සිට විදුලි කප්පාදුවට අදාළව මෙන්ම වෙනත් තොරතුරු සම්බන්ධයෙන් තම කොමිසමට තොරතුරු ලබා නොදුන් බව සදහන් කරමින් එම කොමිසම මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ පවරා තිබුණේ විදුලිබල මණ්ඩලය, එහි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට එරෙහිවය.